Skip to main content
Ifthar

 

මේ ගතවෙන්නේ රාමසාන් සමයයි. ලොව පුරා මුස්ලිම් බැතිමතුන්ගේ උපවාස කාලයයි. රාමසාන්, රාමදාන්, රාමනාන්, රාමලාන් ලෙස මේ සමය හඳුන්වයි. ඉස්ලාමීය දින දර්ශනය අනුව නවවන මාසයයි. ඉස්ලාමීය විශ්වාසය අනුව මහමුද්තුමාගේ ප්‍රථම එළිදරව්වීම සැමරීම සඳහා මුස්ලිම්වරුන් මාසයක් නිරාහාරව සිටීම රාමසාන් සමය වේ. සඳේ දර්ශනය වීම අනුව දින 29 - 30ක් අතර කාලයක් මේ උපවාස කාලය පැවැත්වෙනවා. රාමදාන් කියන වචනය හැදිලා තියෙන්නේ රමීදා, අර්-රමාද් කියන වචන බිඳී ඇවිත්. ඒකේ තේරුම තමයි වියළීම, එහෙමත් නැත්නම් මතු පිටින් දැවීම.

 

මේ උපවාස කාලය බලනොපාන පිරිසකුත් ඉන්නවා. ළදරුවන්, වැඩිහිටි මහළු අය, ගැබිණි මව්වරුන්, කිරි දෙන මව්වරුන්, ඔසප් සමය ගතකරන කාන්තාවන්, විවිධ රෝගාබාධ වලින් පෙලෙන අය, සංචාරකයින් හට මේ උපවාසයෙන් වැළකී සිටින්න පුළුවන්. මේ හැර අනෙක් සියළුම මුස්ලිම්වරුන්ට උපවාසකාලය අනිවාර්ය වෙනවා. උපවාසකාලය ගත කිරීමට යම් අයෙකුට නොහැකි වුවහොත් එය හැකි දිනයක සිදු කිරීමටද ඔවුන්ට නියම වෙලා තියෙනවා.

 

හිරු උදාවේ සිට හිරු බැස යනතුරු නිරාහාරව සිටීම, දුම්පානය නොකිරීම, ලිංගික කටයුතු වලින් වැළකී සිටීම අනිවාර්ය වෙනවා. මේ කාලය පුරාම සියළුම පව් වලින් වැළකී සිටිය යුතු බව මුස්ලිම්වරුන්ට උපදෙස් ලැබී තිබෙනවා. හිරු උදාවට පෙර ලබාගන්නා ආහර වේල සොහූර් ලෙසින්ද හිරු බැසයාමෙන් පසුව ලබාගන්නා ආහාර වේල ඉෆ්තාර් ලෙසද හඳුන්වනු ලබනවා. 

 

රාමසාන් කාලය තුළ පුණ්‍ය කටයුතු වල යෙදීම, ශුද්ධ වූ අල් කුරාණය කියවීම, යහපත් ක්‍රියාවල යෙදීම සිදුකෙරෙනවා. මේ කාලය තුළ පාරාදීසයේ දොරටු ඇරී ඇති බවද නිරයේ දොරටු වැසී ඇති බවද ඔවුන් විශ්වාස කරනවා. මේ කාලයේ යක්ෂයන් දම්වැල් වලින් බැඳ දමා ඇති බවද ඔවුන් විශ්වාස කරනවා.

 

මෙම කාලය තුළ දිනකට පස් වතාවක් මුස්ලිම්වරු යාඤ්ඤා කටයුතු වල නිරතවෙනවා. හිරු බැස යාමෙන් අනතුරුව උපවාසයෙන් ඉවත්වීම සඳහා ප්‍රධාන වශයෙන්ම ඔවුන් ආහාරයට ගන්නේ රටඉඳි. ඔවුන්ගේ ඉතිහාසයට අනුව මහමුද්තුමා රට ඉඳි තුනක් අනුභව කරලා තමයි උපවාසය බිඳ දමලා තියෙන්නේ.

 

3_1.jpg

 

4_0.jpg

 

5.jpg

 

ඉෆ්තාර් සමයේදි සාම්ප්‍රදායික ආහාර වර්ග අනුභව කරනවා. සමහර ආහාර වර්ග රාමසාන් කාලයටම ආවේණික වෙනවා. වතුර කොහොමත් මෙයාලා සාමාන්‍යයෙන් පාවිච්චි කරනවා බීම වර්ගයක් විදියට. ඒ ඇර සිසිල් බීම, කෝපි වර්ග, පළතුරු යුෂ සහ කිරි, කැඳ පානය කරනවා. මැදපෙරදිග රටවල් වල නම් ජලය, යුෂ වර්ග, සලාද වර්ග, රට ඉඳි, පළතුරු වර්ග, එළවළු වර්ග, බැටළු මස්, චීස් වගේ දේවල් ආහාරයට ගන්නවා. මේ සමහර ආහාර වර්ග හදන්නේ මේ කාලයේදීම විතරයි. ඉෆ්තාර් සමය උත්සවයක් වගේ. පවුලේ සාමාජිකයින්, නෑදෑයින්, හිත මිත්‍රාදීන් සමඟ එක්ව ආහාර ගැනීම මේ කාලයේදි සිදුවෙනවා. ඒ වගේම දුප්පතුන්ට ආහාර ලබා දීමද මේ කාලයේදි සිදුවෙනවා. ඇතැම්විට ඔවුන් දුප්පතුන්ට සිය නිවෙස් වලට ආරාධනා කරනවා ඉෆ්තාර් සමයේදි. එහෙමත් නැතිනම් වෙනම ස්ථානයක දුප්පතුන් වෙනුවෙන් ආහාර ලබාදීම සිදුකරනවා. මැදපෙරදිග රටවල මේ කාලයේ සේවා කාලය පැය හයකට සීමා වෙනවා. ඒක අනිවාර්යය දෙයක්. ඒ වගේම මේ කාලය තුළ මැදපෙරදිග රටවල් වල එළිමහනේ ප්‍රසිද්ධ ස්ථාන වල ආහාර ගැනීම සපුරා තහනම්. ඒක මුස්ලිම් අයට විතරක් නෙමෙයි අනික් සියළුම දෙනාට බලපාන නීතියක්. රාමසාන් සමය අවසන් වූ පසු දින කීපයක නිවාඩුවක් සියළුම දෙනාට ලැබෙනවා. ඒ කාලය උත්සවාකාරයෙන් සමරන්න ඔවුන් සූදානම් වෙනවා. අලංකාර සැරසිළි වලින් ගෙවල් දොරවල් ව්‍යාපාරික ස්ථාන සරසනවා.

 

ලෝකයේ සෑම සංස්කෘතියකම ලස්සන සුන්දර දේවල් තියෙනවා. ඒ ඒ ආගම් ඇදහිලි විශ්වාස එක්ක ඒවා බැඳිලා තියෙනවා. මිනිස්සු ජීවත් වෙන්න ඕනේ එකිනෙකා හා සාමයෙන් සහයෝගයෙන්. ආදරයෙන් විශ්වාසයෙන්. ඒකයි මුස්ලිම්වරුන් මේ උපවාසයෙන් හැමවිටම බලාපොරොත්තු වෙන්නේ.

රාමලාන් සඳ ලස්සනයි. ඇවිත් බලන්න.

 

 

Sri Lankan Editor

නදීශානි බණ්ඩාර දොඩංගොල්ල .දෝහා සිට ....

 Sri Lankans Online Sub Editor Doha, Qutar