Skip to main content
qatar

 

ඕනම රටක ඉතිහාසය සංස්කෘතිය හා සකළ විද කලාවන් එළිදැක්වෙන තැනක් තමයි "කෞතුකාගාරය" කියන්නේ. ඇතැම් විට ඒ රටේම නොවුණත් රට පිහිටි ප්‍රදේශය පිළිබඳව අතීතාවර්ජනයන් උදෙසා වූ කෞතුක භාණ්ඩ, ලිපි ලේඛන මෙහිදි දැක බලාගැනීමට හැකියාවක් ලැබෙනවා.

යමුද එහෙමනම් කටාර් වල තියෙන කෞතුකාගාරයේ රවුමක් ඇවිදලා එන්න..???

කටාර් වල කෞතුකාගාරය හඳුවන්නේ "ඉස්ලාමීය කලාවේ කෞතුකාගාරය" (Museum of Islamic Art) විදියට. ඉස්ලාමීය කලාපයේ ඉපැරණි කෞතුක වස්තු රැසක් මෙහිදි දැකගත හැකි නිසා ඒ විදියට හඳුන්වනවා. කෞතුකාගාරය පිහිටලා තියෙන්නේ කටාර්හි අගනුවර වෙන දෝහා නගරෙයේ අල් කෝනිච් ලෙසින් හඳුන්වන ප්‍රදේශයේ. කෞතුකාගාරය ඉදිකරලා තියෙන්නේ කෘතීම අර්ධද්වීපයක.මේ කෞතුකාගාරය අසලම තමයි කටාර් වල පැරණි වරාය පිහිටලා තියෙන්නේ. ලී වලින් තැනූ  යාත්‍රා අදටත් සක්‍රීයයි. හැබැයි ඒ සංචාරක ව්‍යාපාරය සඳහා. කෞතුකාගාරයේ සම්පූර්ණ භූමි ප්‍රමාණය වර්ගමීටර් 45,000ක්.

මහල් පහකින් සමන්විත කෞතුකාගාරයේ පිවිසුම් මාර්ගය දෙපස රටඉඳි ගස් වවා තිබෙන අතර ඉහළ සිට පහළට තට්ටු ආකාරයෙන් ඇද හැලෙන ජල මාර්ගයක් පවතිනවා. වම් පස පැරණි වරායද දකුණු පස කෞතුකාගාර උද්‍යානයද දකින්න පුළුවන්. මේ උද්‍යානය කිලෝමීටර් 7ක් පමණ දිගයි. මුහුද අයිනෙන් ඇවිදගෙන යන්න පුළුවන් විදියට තමයි සකස් කරලා තියෙන්නේ. ප්‍රධාන දොරටුවෙන් පිවිසුනාම ආරක්ෂක නිළධාරීන්ගේ පරීක්ෂාවට ලක්වෙනවා. පළමු මහල වෙන් වෙන්නේ තෑගි භාණ්ඩ මිලදී ගැනීමට හැකි සහ ආහාර පාන සපයා ගත හැකි තැනක් විදියට. මෙහි එක් කෙළවරක් මුහුද පැත්තට වෙන්න වාඩි වෙන්න පුළුවන් විදියට සකස් කරලා තියෙනවා. මෙතන ඉඳන් කෝපි කෝප්පෙක රස විඳින්න එන අමුත්තන් අමතක කරන්නේ නම් නෑ. පළමු මහලෙන් පිටතට විවෘත වෙන තවත් දොරටුවක් වම් පසින් දැකගන්න පුළුවන්. මෙතනින් එළියට ගියාම තියෙන්නේ කුඩා ජල උද්‍යානයක්. මෙතනදි දෝහා “City Center” ලෙසින් හඳුන්වන වාණිජමය නගරය දැක බලාගන්න පුළුවන් වෙනවා.

Museum of Islamic Art 001.jpg

 

Museum of Islamic Art 002.jpg

 

Museum of Islamic Art 003.jpg

 

Museum of Islamic Art 004.jpg

 

දෙවන, තුන්වන සහ සිව්වන මහල් වෙන් වෙන්නේ කෞතුක භාණ්ඩ ප්‍රදර්ශනය සඳහා. මේ හැම කොටසක්ම භාර ආරක්ෂක නිළධාරියෙක් හෝ නිළධාරිනියක් ඉන්නවා. සෑම කෞතුක භාණ්ඩයකටම සුවිශේෂි ආරක්ෂාවක් සපයලා තියෙනවා. ඉන්දියාව, සිරියාව, ඉරානය, ඉරාකය, ඕමානය වගේ රටවල ඉපැරණි කෞතුක වස්තු රැසක් මෙහිදි දැකගන්න පුළුවන්. එක් මහළක එක් දොරකින් ඇතුළු වුණාම එම මහළේ ප්‍රදර්ශනය කෙරෙන සියළුම කෞතුක භාණ්ඩ දැක බලාගෙන පිටතට ඒමේ හැකියාවක් තියෙනවා. සම්පූර්ණ රවුමක් එක් මහළක. ප්‍රදර්ශන භාණ්ඩ ඡායාරූපගත කිරීම, වීඩියෝ කිරීම සිදුකරන්න පුළුවන්. හැබැයි Flash Lights නැතුව.

ඉහළම මහලේ පුස්තකාලය ස්ථාපනය කරලා තියෙනවා. මේ ප්‍රදර්ශන මැදිරි වල පොඩි ශ්‍රවණාගාර දකින්න පුළුවන්. මෙහි ප්‍රදර්ශණය කරන කෞතුක භාණ්ඩ වලට අදාල තොරතුරු සහ ඇතැම් උපකරණ වල ක්‍රියාකාරකම් සිදුවූ ආකාරය ගැනද දැනුවත් කිරීම් සිදු කරනවා.

සතියේ සෑම දිනකම විවෘතව තබන නමුත් සිකුරාදා දිනවල විවෘත කරන්නේ හවස 1330 වන පැයට. අනෙකුත් දින වල උදෑසන 0900 වන පැයේ සිට 1900 වන පැය දක්වා මහජන ප්‍රදර්ශනයට විවෘතයි.

මේ කෞතුකාගාරය දකිද්දි මට හිතුන දෙයක් තමයි අපේ රටේ කෞතුකාගාර වල මොන තරම් නම් වටින කෞතුක වස්තු තියෙනවද? අදටත් මොන තරම් දේවල් අපිට ලැබෙනවද? හැබැයි ඒ දේවල් ආරක්ෂා කරගන්න අපේ තියෙන උනන්දුව වුවමනාව තියෙන්නේ මොන සීමාවෙද? ඇත්තටම කටාර් සතු පැරණි භාණ්ඩ මේ කෞතුකාගාරයේ නැති තරම්. හැබැයි වෙන රටවලින් සපයාගත් දේ වුණත් ඔවුන් ඒවා ආරක්ෂා කරන ආකාරය නම් අගය කළ යුතුමයි.

 

Sri Lankan Editor

නදීශානි බණ්ඩාර දොඩංගොල්ල .දෝහා සිට ....

 Sri Lankans Online Sub Editor Doha, Qutar