Skip to main content
Qatar Sea

 

රටක් මැද්දේ මුහුදක් තියෙන්න පුළුවන්ද? පුළුවන්...පුළුවන්...එහෙම තියෙනවා. හැබැයි ඔන්න රූප මවා ගන්න එපා ලංකාව වටේ තියෙන මුහුද වගේ කියලා නම්. මේක ඊට වඩා වෙනස්. යමුකෝ එහෙනම් ඒ මුහුද පැත්තට ගිහින් එන්න.

 

මේ රට මැද මුහුද (Inland Sea) තියෙන්නේ කටාර් රාජ්‍යයේ දකුණු ප්‍රදේශයේ (Khor Al-Adaid)  සවුදි රාජ්‍යයට මායිම්ව. ගොඩබිමෙන් මුහුදේ විශාල ප්‍රමාණයක් වටවෙලා තියෙන නිසා තමයි “Inland Sea” කියලා හඳුන්වන්නේ. මේ මුහුද කටාර් සහ සවුදි රාජ්‍යයන් වෙන් කරමින් තමයි ගොඩබිම දෙසට ගමන් කරලා තියෙන්නේ. ඒ අවට තියෙන්නෙ වැලි කන්දක්. මේ වගේ ලෝකේ තියෙන්නේ එකම මුහුදයි. ඒ මේ කටාර් රාජ්‍යයේ විතරයි. ඒක නිසා යුනෙස්කෝ සංවිධානයෙන් රක්ෂිත පද්ධතියක් විදියටද හඳුනගෙන තියෙනවා. දෝහා නගරයේ සිට පැය 1යි විනාඩි 30ක් වගේ කාලයක් ගතවෙනවා රට මැද මුහුදට යන්න.

 

මේ මුහුදු තීරය කටාර් රාජ්‍යයේ ඉතාමත් ආකර්ෂණීය ස්ථානයක්. ඒ වගේම මේ මුහුද කටාර් රාජ්‍යයට නිධානයක් විදියට තමයි සළන්නේ. මේ ප්‍රදේශයේ ධාවනය කරන්න පුළුවන් Four Wheel වාහන විතරයි. මොකද කාන්තාර ප්‍රදේශයක් පසුකරගෙන යන්න ඕන නිසා. ඉතිං කාන්තාරයේ වාහන ධාවනය හුරු පුරුදු කෙනෙක් එක්ක යන්න කියලා තමයි සංචාරකයින්ට උපදෙස් දීලා තියෙන්නේ.

 

මේ ප්‍රදේශය ආශ්‍රිතව සංචාරක කර්මාන්තය ඉතා උසස් අන්දමින් ක්‍රියාත්මක වෙනවා. ඔටුවන් යොදාගන්නවා සංචාරකයන්ට කාන්තාරයේ ගමන් කරන්න. එය සංචාරකයන්ට ගෙන දෙන්නේ අපූරුම ආශ්වාදයක්. නමුත් මේ ප්‍රදේශය තාමත් ජනාකීර්න වෙලා නම් නැහැ.

 

ඒ වගේම මේ භූමි ප්‍රදේශයටම ආවේණික ජෛව විවිධත්වයෙන් යුතු පරිසර පද්ධතියක් දැකගන්න පුළුවන් වෙනවා. අරාබිකරයට ආවේණික ශාක හා සත්ත්ව විශේෂ මේ භූමි ප්‍රදේශය තුළ සංයෝජනය වී තිබෙන අයුරු නිරීක්ෂණය කරන්න පුළුවන්. ඒ වගේම අන්තර්ජාතික වශයෙන් දුර්ලභ සහ තර්ජනයට ලක්වී ඇති සත්ත්ව විශේෂ, මුහුදු ජීවීන් ද මේ පරිසර පද්ධතිය ආශ්‍රිතව ජීවත්වෙනවා. මෙවන් සංඝටක වලින් ගහණ වෙනත් කලපු පද්ධතියක් ලෝකේ කිසිම තැනකින් තාම වාර්තා වෙලා නම් නැහැ. ජලජ සහ අර්ධ ජලජ භූමි ප්‍රදේශය කැස්බෑ විශේෂ වලට සුවිශේෂි වාසස්ථාන සකස් කරලා දීලා තියෙනවා. සොබා දහම හරි අපූරුයි නේද?

 

Qatar Island See 001.jpg

 

Qatar Island See 002.jpg

 

Qatar Island See 004.jpg

 

Qatar Island See 005.jpg

 

තව දුරටත් මේ ප්‍රදේශය හොඳින් නිරීක්ෂණය කරලා බැලුවොත් පුරාවිද්‍යාත්මක වගේම සංස්කෘතික උරුමයන්ද රැගත් ඒකකයක් ලෙස සළකන්න හැකිවෙනවා. අතීතයේදී ධීවර හා ගොවිතැන් කටයුතු මේ ප්‍රදේශයේ සිදුවුණ බවට සාක්ෂි තිබුණත් දැන්නම් ඒ කටයුතු සිදුවෙන්නේ නෑ.

ඡායාරූප ගැනීමට නම් මේ ප්‍රදේශය පාරාදීසයක්. උදෑසන හිරු පායන වෙලාවට සහ හවස හිරු බහින වෙලාවට මේ මුහුදු තීරේ ගත කළොත් නම් ඉතාමත් සුන්දර ඡායාරූප රැසක් එකතු කරගන්න පුළුවන්. ඒක කරන්න පුළුවන් හවස් කාලේ ඉඳන්ම මේ මුහුදු තීරේ කඳවුරු බැඳගෙන හිටියම. ඒ පහසුකමත් සංචාරකයන්ට සලසා දී තියෙනවා.

නොවැම්බර් මාසේ අන්තිම කාලේ ඉඳන් අප්‍රේල් මාසේ පටන් ගන්න කාලේ වෙනකල් සංචාරය කරන්න ලැබුණොත් වඩාත් හොඳයි. මොකද ඒ කාලෙට කටාර් වල කාළගුණය සෞම්‍ය නිසා. අප්‍රේල්, මැයි ඉඳන් සැප්තැම්බර්, ඔක්තෝබර් වෙනකල්ම තියෙන්නේ උණුසුම් කාළගුණයක් නිසා නුපුරුදු කෙනෙකුට සංචාරය අපහසු වෙන්න පුළුවන්. ඉතිං...ජීවිතේ ඉඩක් ලැබුණොත් ලෝකෙටම තියෙන එකම රට මැද මුහුද බලන්න යන්න අමතක කරන්න එපා. මොකද ඒක වෙනස්ම අත්දැකීමක් නිසා.

 

 

Sri Lankan Editor

නදීශානි බණ්ඩාර දොඩංගොල්ල .දෝහා සිට ....

 Sri Lankans Online Sub Editor Doha, Qutar